PRESS RELEASE

                                                                            මාධ්‍ය නිවේදනයයි

ආයුර්වේද, සිද්ධ සහ යුනානි උපාධිය ලබා දීම සඳහා ලංකාවේ විශ්වවිද්‍යාල 4 ක් තුළ දේශීය වෛද්‍ය පීඨ හතරක් ක්‍රියාත්මක වෙයි. මෙම වෛද්‍ය පීඨ මගින් වසරකට උපාධිධාරීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් බිහි කරනු ලබයි. මෙම ආයතනයන්හි පාලනාධිකාරීන් විසින් තම විෂය නිර්දේශය තුළ වූ පස් වසරක න්‍යායික පුහුණුවට පසු ලබා දිය යුතුව පැවති ප්‍රායෝගික පුහුණුව වශයෙන් ලබාදෙන සීමාවාසික වෛද්‍ය පුහුණුව, පාඨමාලා අන්තර්ගතය තුළින් ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව පෙර විෂය නිර්දේශයන් තුළ වූ හය වසරක උපාධිය, වසර 05 දක්වා අඩුකර උපාධි සහතිකය පිරිනමා ඇත.

ඒ අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනු දැනුමකින් තොරව පෙර විෂය නිර්දේශයේ දක්වන ලද, උපාධිය ලබා ගැනීමට අත්‍යවශ්‍යම වූ සීමාවාසික වෛද්‍ය පුහුණුව පාඨමාලාවෙන් ඉවත් කර ඇත.මෙම තත්ත්වය මත උපාධිය පිරිනැමීම සඳහා සීමාවාසික පුහුණුව අත්‍යාවශ්‍ය නොවන බව  පවසමින් දීමනා සඳහා වන ප්‍රතිපදන ලබා දීම මහා භාණ්ඩාගාරය අත්හිටුවීමට තිරණය කරන ලදී.

විශ්වවිද්‍යාල මගින් සිදුකරන ලද මෙම පාඨමාලා සංශෝධනය ආයුර්වේද දෙපාර්තමේන්තුව ගන්නා ලද තීරණයක් ලෙස අර්ථ නිරූපනය කරමින් හා ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත සීමාවාසික පුහුණුවේ වගකීම පවරමින් විශ්වවිද්‍යාල බලධාරීන්  විසින්ම නිර්මාණය කළ ගැටලුවෙන් ඔවුන් ඉවත්ව සිටීමට උත්සාහ කරමින් සිටී.

මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය සිසුන් සඳහා වන මසකට රුපියල් 66,750.00 ක් වන සීමාවාසික වෛද්‍ය පුහුණු දීමනා ගෙවීම, 2023 වර්ෂයේ ජූනි මාසයේ සිට ගැටළුකාරි තත්ත්වයකට පත්විණි. 

විශ්වවිද්‍යාලය විසින් ඇති කළ මෙම ගැටලුව පිළිබඳව ආයුර්වේද දෙපාර්තමේන්තුව සෘජුව  මැදිහත් වෙමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සහ ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත්කර අමාත්‍ය මණ්ඩලය ද දැනුම්වත් කරන ලදී. ඒ අනුව  වෛද්‍යවරයකු ලෙස වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සදහා වන අත්‍යවශ්‍ය පුහුණුවක් ලෙස සීමාවාසික වෛද්‍ය පුහුණුව, නෛතික ලෙස පිළිගනිමින් අදාල පුහුණුව ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා ලදී.

එම අනුමැතිය අනුව භාණ්ඩාගාරය විසින් පුහුණු දීමනා වෙනුවෙන් 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 105 ක් වෙන්කර දෙන ලද අතර, එම ප්‍රතිපාදන 2023 වර්ෂයේ දී  පුහුණුවට අනුයුක්ත කළ වෛද්‍ය සිසුන්ගේ ඉතිරි මාස කිහිපය සම්පූර්ණ කිරීමට හා 2024.04.17 දින සිට පුහුණුවට අනුයුක්තකර ගැනීමට නියමිත සිසුන් 60 දෙනා වෙනුවෙන් යෙදවීමට සැලසුම්කර ඇත.

සීමාවාසික වෛද්‍ය පුහුණුව විශ්වවිද්‍යාලය විසින් තම පාඨමාලාවෙන් ඉවත් කරන විට එය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් සේ සලකා  අමාත්‍ය මණ්ඩල දැනුම්වත් කර, සීමාවාසික පුහුණුව ලබා දිය යුතු බවට අදාල ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම සහ එයට අදාල ප්‍රතිපාදන අදියර වශයෙන් වෙන්කිරීමට ලබා දී ඇති තීන්දුව දේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් දෙපාර්තමේන්තුව ලද ජයග්‍රහණයකි.

තවද 2023.12.31 දිනට පුහුණුව සදහා පොරොත්තු ලේඛනයේ සිටි සිසුන් 267දෙනා අතුරින් සිසුන් 60 දෙනෙකු සදහා පුහුණු කටයුතු 2024.04.17 වන දින ආරම්භ කරනු ලබන අතර, ඉතිරි සිසුන් 207 දෙනා වෙනුවෙන් තවදුරටත් මේ වසර සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 212 වන ප්‍රතිපාදනය 2024.04.18 වන දින භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දි වෙන්කරවා ගැනීමට සැලසුම්කර ඇත.

අමතර ප්‍රතිපාදනය සපයා ගැනීමෙන් පසු 2024.07.01 දින සිට ඉතිරි සිසුන් සඳහා පුහුණු කටයුතු ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. ඒ අනුව, පළමු කණ්ඩායමේ ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය සිසුන් 60 සඳහා වන සීමාවාසික වෛද්‍ය පුහුණුව 2024.04.17 වන දින නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන මෙම සීමාවාසික පුහුණුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව  ජාතික වගකීමක් සේ සලකා ඉටුකිරීමට කටයුතු කරන මොහොතක නිසි අවබෝධයෙන් තොරව යම් යම් පුද්ගලයන් විසින් සිදුකරනු ලබන ප්‍රකාශ පිළිබඳව කනස්සල්ල පලකරමි.තව දුරටත් 2024 වර්ෂයේ දී උපාධි සහතිකය ලබා ඇති දරුවන්ගේ පුහුණු කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ කිරීම වෙනුවෙන් අදාල ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ කටයුතු සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව වැඩිමනත් වශයෙන් සදහන් කළ යුතුව ඇත.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්.

2024.04.16 දින

නාවින්නේ දී.

Similar Posts